වැසි වනාන්තර රැකගන්නට පාසැල් ලමුන්ට තෙදින පුහුණු කඳවුරක්

මාර්තු 6, 2018 - සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයේ ජෛව විවිධත්වය හා වැදගත්කම, එය මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිලිබඳව පාසැල් ලමුන් දැනුවත් කිරීමේ අරමුණින් තෙදින පුහුණු කඳවුරක් මාර්තු මස 2 සිට 4 දක්වා සිංහරාජ කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. වැසි වනාන්තර සුරකින්නෝ සංගමය හා කලවාන ජාතික පාරිසරික පදනම එකතුව, Persistent Systems Lanka (Pvt) Ltd. සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද මෙම පුහුණු කඳවුරට කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් 5ක සිසු සිසුවියන් 50 දෙනෙකුත් ගුරුවරු ගුරුවරියන් 10 දෙනෙකුත් සහභාගි විය.

එහිදී වනජීවී සංරක්ෂණ නිලධාරී තරංග ධම්මික මහතා වනාන්තරයක් තුල ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාවක් කරන්නේ කෙසේද යන්නත්, එම විස්තර සටහන් තබාගන්නේ කෙසේද යන්නත් ගැන ලමුන්ට පැහැදිලි කරන ලද අතර, ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සුපුන් දේශප්‍රේම මහතා විසින් මත්ස්‍යයින් හා ජලජ ජීවීන් හඳුනාගැනීම පිලිබඳවත්, ශ්‍රී ලංකාවට ආවේණික හා ආක්‍රමණික මත්ස්‍යයින් පිලිබඳවත්, මත්ස්‍ය සංරක්ෂණයේ වැදගත්කම පිලිබඳවත් සහභාගි වූ පිරිස දැනුවත් කරන ලදි. සිංහරාජය තුල පක්ෂි අධ්‍යන චාරිකාවක් මෙහෙයවූ රේගු දෙපාර්තමේන්තුවේ ජෛව සම්පත් ඒකකයේ විශ්‍රාමික අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා, ආවේණික පක්ෂීන් මොනවාද යන්නත්, පක්ෂීන් නිරීක්ෂණය කරන්නේ කෙසේද යන්නත් ගැන සිසු සිසුවියන් දැනුවත් කරන ලද අතර, ඉන් අනතුරුව පැමින සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුලු සියලු දෙනා සඳහා සිංහරාජය අවට සිදුවන ජෛව මංකොල්ලකෑම් අර්බුදය පිලිබඳ දේශනාවක් පැවැත්විය.

අවසන් දින සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් සභාව ඇමතූ කලවාන ප්‍රාදේශීය ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි මහත්මිය සිංහරාජ වනාන්තරය අවට බෑවුම් සහිත ප්‍රදේශ තුල වනාන්තර එලි පෙහෙලි කිරීම, පස් කැපීම, වැලි ගොඩදැමීම ආදී ක්‍රියා නිසා මෑත කාලයේදී නායයෑම් ඇතුලු උවදුරු රැසක් ඇතිවී තිබෙන බව පෙන්වා දුන් අතර එම සංවේදී ප්‍රදේශ ආරක්ෂා කල යුතු බවත් පැවසීය. මෙහිදී කලවාන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කොස්වත්ත මහතා සභාව අමතමින් මෙම පුහුණු කඳවුර කාලෝචිත බවද මෙවැනි වැඩසටහන් නිතර නිතර දියත් කිරීමෙන් පරිසර සංරක්ෂණය උදෙසා දැනුම මෙන්ම ආකල්පමය වෙනසක් සිදුකල හැකි බවද පවසා සිටි අතර වැසි වනාන්තර සුරකින්නෝ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා විසින් ඉදිරියේදී මෙවැනි පුහුණු කඳවුරු සඳහා සහභාගි වීමේ අවස්ථාව සිංහරාජය වටා පිහිටි සියලු පාසැල් වල සිසු සිසුවියන් වෙත ලබා දීමට සූදානම් බවත් පවසා සිටියේය.

සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය ඇතුලු ශ්‍රී ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර හා ජල මූලාශ්‍ර සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වී යමින් පවතී. මෙවන් තත්වයක් මත වසරක් පාසා ඇතිවන දරුණු නි‍යං, ගංවතුර හා නාය‍යෑම් ස්වභාවික විපත් නොව මිනිසා විසින්ම උග්‍ර කරගන්නා ලද උවදුරු බව පැහැදිලි කරුණකි. නොදැනුවත්කම හා තාවකාලික වාසි තකා සිදුකරන මෙවන් විනාශකාරී ක්‍රියා දිගින් දිගටම සිදුවීම වැලැක්වීමට පරිසරය පිලිබඳව දරුවන්ට ඉගැන්වීමත්, ජල පෝෂක වනාන්තර හා ජල මූලාශ්‍ර රැක ගැනීමට මතු පරම්පරාව යොමු කිරීමත් අප සියලු දෙනාගේ යුතුකමය.


Rainforest Protectors of Sri Lanka is an Enviornmental Organization Registered with Central Environmental Authority (CEA) Registration# 6/6/17/01/146